“අර්බුදයට විසඳුම බහුතරය ද”

(කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ධම්ම දිසානායක)
රට තුළ ඇතිවී තිබෙන අර්බුදය කුමක්ද? එය පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ බහුතරය, ජනාධිපති, අගමැති, ආණ්ඩුව සහ විපක්ෂය යන අංශවලට අදාළ හෝ ඒ අංශ අතර ඇති අර්බුදයක් ලෙස හුවාදැක්වීම අතිශයින්ම පටු තේරුම් ගැනීමකි.
එසේම එය මෙරට දේශපාලන පක්ෂ යැයි හඳුන්වා ගන්නා බල-කල්ලි අතර අර්බුද්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍යක් පමණක් ද නොවේ. මේ අර්බුදය ඒ කිසිවකට වඩා ජාතියක් මුහුණදී සිටින ජාතික අර්බුදයේ පිළිබිඹුවකි. එනම් ජාතික අර්බුදයකි. එය විටින් විට මතුවන නැවත යටට ගොස් ශක්තිමත්ව මෝරා වැඩී නැවත නැවත මතුවන ජාතික අර්බුදයකි. 1953 හර්තාලය, 1971 සන්නද්ධ නැගිටීම, 1980 ජූලි වැඩ වර්ජනය, 1982 ජනමත විචාරණය, 1983 සිට තියුණු වෙමින් 2009 තෙක් ආ උතුරේ යුද්ධය, 1987-90 භීෂණ සමය, 2015 සිට ඉදිරියට එන විකෘති සහ ව්‍යාකුල පාර්ලිමේන්තුව සහ මේ මොහොතේ දකින්නට ඇති දේශපාලන-ආර්ථික-සමාජ අස්ථාවරභාවය යනු එකී ජාතික අර්බුදයේ විශේෂ මතුවීම් ය.
මේ ජාතික අර්බුදය විවිධ රූපකායන් ලෙස නැවත නැවත මතුවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර බොහෝය. ඒවා කෙටිකාලීන සහ දිගුකාලීන ය. එනම් හදිසි ප්‍රතිකාර සහ රෝග නිවාරණ ප්‍රතිකාර වශයෙනි. මෙවර ලිපිය ඒ අරබයා ය.මේ අර්බුදය ට බලපෑ සහ බලපාන හේතු සාධක බොහෝය. මේ රටට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පරිපූර්ණ ව ලැබුණේ 1931 දී ය. වැඩිහිටි සර්වජන ඡන්ද බල අයිතිය එහි එක් ප්‍රබල අංගයකි. අමාත්‍යාංශ සේ සැලකිය හැකි විධායක කාරක සභා හතක කාර්යයන් සහ බලතල ස්වදේශිකයන්ට ලැබුණි. ඩොනොමෝර් කොමිසම විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයන් විධායක කාරක සභා හතක ට බෙදණු ලැබුවේ ස්වදේශ කටයුතු, කෘෂිකර්මය, ප්‍රාදේශීය පරිපාලනය, සෞඛ්‍යය, අධ්‍යාපනය, පොදු වැඩ කටයුතු සහ පණිවුඩ හුවමාරු කටයුතු, සන්නිවේදන යන විෂයයන් අරමුණු කර ගෙනය. මේ අනුව මේ මොහොත වන විට රටේ ප්‍රධාන අමත්‍යාංශ හතක වයස අවුරදු අසූ හතකි.

එය නිරෝගී පුද්ගලයකුගේ සාමාන්‍ය ආයු කාලයට සමානය. එහෙත් මේ අමාත්‍යාංශවලට අදාළව පොදු මහජන ක්ෂේත්‍රයේ දකින්නට ඇති අර්බුදය සහ පොදු ජනයා මුහුණ දෙමින් සිටින පීඩනය වැඩි වුණා මිසක අඩුවුණේ නැත.

ඒ සියල්ල එසේ වීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ මෙරට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ පීලි පැනීම ය. නියෝජනය යනු කුමක්ද යන්න මහජනයා වටහා ගත්තෙත් නැත. නියෝජිතයන් යැයි කියා ගන්නා අය වටහා ගත්තෙත් නැත. ප්‍රජාතන්ත්‍රවාදය ද එසේමය. එය වටහා ගත්තවුන් ජන සමාජයේත් පාලකයන් අතරත් ඉතා දුලබ සහ දුබල විය. ඒ දෙකම නොදත්තවුන් සුලබ වී ප්‍රබල විය. 1931 සිට රාජ්‍ය මන්ත්‍රණ සභාවත්, 1947 සිට පාර්ලිමේන්තුවත්, 1972 සිට ජාතික රාජ්‍ය සභාවත් නැවත 1978 සිට පාර්ලිමේන්තුවත් අත්පත් කරගත්තේ ඒ දෙකම නොදත් සහ ඒ දෙකටම ගරු නොකරන පිරිසක් ය. එය හරියට සුගන්ධවත් වූ විසිතුරු මල් අලෙවිකිරීමට සාදන ලද මල් වෙළඳසලක් මස්මාංශ විකිණීමට යොදාගත්තා වාගේය. හමන්නේ මල් සුවඳ නොව කුණු ගඳය.

1978 දක්වා මේ රට පාලනය කළෝ වැඩවසම් ප්‍රභූහුය. ඒ අය අර ඉහතකී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ උපකරණ පාවිච්චි කළේ ජන සමාජය ප්‍රජාතන්ත්‍රීය කිරීමේ අදහසින් නොවේ. වෙනත් වැඩකට ය. තම වැඩවසම් ගතානුගතික ස්වාමි-දාස සම්බන්ධය තවදුරටත් නඩත්තු කිරීමට මේ අලු‍ත් උපකරණ කදිමට යොදාගැනීමට ඔවුහු අති දක්ෂ වූහ. පක්ෂ සහ මැතිවරණ සළුවෙන් සියලු‍ වැඩවසම් නොපනත්කම් වැසී ගියේය. ඒ නිසාම ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයේ ආසියානු මොඩලය ලෙස නම් දැරීය.

 

ඒ පොත්ත දෙස බලාය. එහෙත් ඇත්ත ඇතුළ ඊට කිසිසේත්ම ගැළපුණේ නැත. ඒ ඇත්ත කුණු ගොඩක්ම වී වැඩවසම් රදළ ව්‍යාපෘතියක්ම විය. දේශපාලනය ජාතික වශයෙනුත් ප්‍රාදේශීය වශයෙනුත් වැඩවසම් පවුල් කීපයකට නතු විය. වැඩවසම් පවුල් රටේ ප්‍රජාතන්ත්‍රීය ආයතන තම පරණ වැඩේ සඳහා පාවිච්චි කරන්න පටන් ගත්හ. ඉන් රට සහ ජනයා ගලවා ගැනීමට පුරෝගාමී වමට තබා පසු කාලීන වමටත් බැරිවිය. ගලවා ගැනීමට ආ ඔවුහුත් ඒ කුණුගොඩේම කරවටක් ගිලී ගියෝය. ජනයාට මඟ කියන කිසිවෙක් ඉතිරි නොවුණේ එහෙමය.

1978 න් පසු යම් වෙනසක් සිදු විය. එහෙත් ඒ වෙනස ජන සමාජයට හිතකර නොවීය. සිදුවුණේ වැඩවසම් ප්‍රභූන්ට අමතරව අලු‍තින් ධනය රැස්කරගත් ලු‍ම්පන් ප්‍රභූ පිරිසක් දේශපාලන බලය අභ්‍යාස කිරීමට මැදිහත් වීමය. ඔවුහු ටික කලකින් දේශපාලන පොරපිටිය සහ ආයතන මුළුමනින්ම පාහේ අත්පත් කරගත්හ. පාර්ලිමේන්තුව, පළාත් සභා සහ ප්‍රාදේශීය ආණ්ඩු පමණක් නොව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පවා ඔවුන්ගේ අණසකට යටත් කරගත්හ.

 

ඒ විතරක් නොව රටේ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම ලු‍ම්පන් එනම් පාදඩ මැර දේශපාලන සංස්කෘතියක් බවට පත්විය. සමහර වැඩවසම් ප්‍රභූහු දේශපාලනයෙන් එක්කෝ ඉවත්වූහ. නැත්නම් වීසිවිය. ඉතිරි වූ වැඩවසම් ප්‍රභූන් පරාජය භාරගෙන ඔවුහුද ලු‍ම්පන් ප්‍රභූ දේශපාලන සංස්කෘතිය ම අනුගමනය කිරීමට පටන් ගත්හ. ඒ මත යැපෙන්නට පටන් ගත්තෝය. ලු‍ම්පන් දේශපාලනය ලාංකීය දේශපාලනයේ ගමන් තරුව බවට පත් විය. අද අප ගෙවා දමන්නේ ඒ ගමනේ කරුමක්කාරම මොහොතක් ය. මේ දිනවල පුපුරා ලාවා ගලන දේශපාලන – ආර්ථික – සමාජ ගිනි කන්ද වනාහි අර ඉතිහාසය පුරා වර්ධනය වුවක් බව තරමකින් හෝ දැන් ඔබට වැටහෙනවා ඇත.

මින් ගැලවීමේ මඟක් සොයා ගත යුතුමය. එකක් හදිසි සහ කෙටි කාලීන විය යුතුය. අනෙක දිගු කාලීන විය යතුය. කෙටි කාලීන මඟ කුමක් ද? මෙවර එය විමසමු. මේ පවතින පාර්ලිමේන්තුව වනාහි 2015 ජනවාරි 9 දා සිටම විකෘති එකකි. රටේ ජන සමාජයේ බල තුලනය සහ පාර්ලිමේන්තුවේ බල තුලනය ගැළපුණේ නැත. ඇමැති මණ්ඩලය තුළ සාමූහික දැක්මක් හෝ වගකීමක් දක්නට නොලැබුණි. හැමෝම හැමෝම සැක කළෝය. හැමෝම හැමෝටම බියෙන් සිටියෝය. හැමෝම තවකෙකුගෙන් හෝ පිරිසකගෙන් බලය හෝ ධනය හෝ තනතුරු කඩා ගැනීමට පැහැර ගැනීමට කුරුමානම් අල්ලමින් සිටියෝ ය. ජනාධිපති සහ අගමැති අතර ප්‍රතිපත්තිමය සහ ක්‍රියාමාර්ගික එකඟතා නොතිබුණි. එය කමක් නැත. එහෙත් ඒ දෙදෙනා වෙන වෙනම කණ්ඩායමක අය නොවී එකම සන්ධානයක ප්‍රධාන නායකයන් දෙදෙනා ය. එවැනි තැනක අති බරපතළ ප්‍රතිපත්තිමය සහ ක්‍රියාමාර්ගික නොපෑහීමක් යනු රටකට සමාජයකට අත්කර දෙන්නේ මහා ඛේදවාචකයක් මිස වසන්තයක් නොවේ. සිදුවුණේ සිදුවී ඇත්තේ ඒ ඛේදවාචකය ය.

මේ පවතින පාර්ලිමේන්තුව සහ මහජන සමාජය අතර බලතුලනය අසමාන බව කදිමට ප්‍රකාශයට පත්වූයේ පෙබරවාරි 10 ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණයේ දී ය. එය ප්‍රාදේශීය කීවාට මහජනයා ක්‍රියා කළේ ජාතික මැතිවරණයක් ලෙස ගෙනය. ඒ ප්‍රතිඵලය මේ මොහොතේ ජනාධිපති – පාර්ලිමේන්තු අර්බුදයට බලපෑ ප්‍රධාන මෑත කාලීන සාධකය ය. එහෙත් එය නොතකා ඉදිරියට ආ පාර්ලිමේන්තුව දැන් අර්බුදයක ය. පාර්ලිමේන්තුවේ යම් කිසි කණ්ඩායමක් පෙන්නන බහුතරයෙන් ඒ අර්බුදය විසඳාගත නොහැකි තරමේ ජාතික අර්බුදයක් බවට පත්වී ඇත. බලයට පෙරේත දේශපාලකයන්ට එය පෙනෙන්නේ නැත.

උපකල්පන කීපයකට එළඹෙමු. පාර්ලිමේන්තුවේ බහුතරය මහින්ද රාජපක්ෂ අගමැති වනවාට විරුද්ධ වුවාට රනිල් වික්‍රමසිංහ අගමැති වනවාට කැමති නැත. ඔහුට අගමැති ධුරය ලබා දීම සඳහා පෙළ ගැසෙන්නේ නැත. මේ නිගමනයට මා එන්නේ ජවිපෙ සහ ද්‍රවිඩ සන්ධානය එළිපිට කියන දේවල් සැලකිල්ලට ගනිමිනි. එසේම බහුතරයක් පෙන්නා රාජපක්ෂ පරාජය කොට වික්‍රමසිංහලා ජයග්‍රහණය කළද ඔහුව අගමැති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අකැමැතිය. ඒ අකැමැත්ත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඔහු සතුව තිබීම විශේෂ ය. එසේම බහුතරය පෙන්වා මහින්ද රාජපක්ෂ සිය අගමැති ධුරය ආරක්ෂා කර ගත්තද ඔහුට පාර්ලිමේන්තුවේ දී මුහුණ දීමට සිදුවන්නේ තමාට එරෙහිව රනිල් වික්‍රමසිංහ කණ්ඩායම සමඟ පෙළගැසෙන බලවත් විපක්ෂයක් සමඟය. ඒ විපක්ෂය සමඟ පොර බැඳීමට තම ශක්තිය වර්ධනය කර ගැනීමට සිදුවන්නේ විවිධ තනතුරු සහ වරදාන විපක්ෂයේ අයට ලබාදීමෙනි. එවිට බලය සඳහා, රට සහ පොදුජන සමාජය නොතකා හැරීමට සිදුවීම අනිවාර්ය ය.

මේ බල පොරය තුළ පොදු ජන සමාජයට මුහුණ පෑමට සිදුවන පීඩා නිමක් නැති වනු ඇත. ඒ අතර දැනට ඔඩුදුවා ඇති ආර්ථික අර්බුදය තවතවත් පුළුල් වීම සහ ගැඹුරුවීම ප්‍රධාන ය. එසේම දේශපාලන ව්‍යකුලතාව සහ අර්බුදය තවතවත් වර්ධනය වනු ඇත. ඒ සාධක දෙක මහා සමාජ අර්බුදයක් ජනනය කිරීමට හොඳටම ප්‍රමාණවත් ය. කෙටි කාලීනව අවශ්‍ය වන්නේ ඒ තත්වය ඇති නොවන ක්‍රියාමාර්ගයකට යාමය. එය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම නම් නොවේ.

සිදුවිය යුතු අනුගමනය කළයුතු එකම ක්‍රියාමාර්ගය වන්නේ රටේ අතිමහත් ජනකායක් සහ ජනමත ප්‍රකාශකයන් ඉල්ලා සිටින පරිදි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමය. මන්ද ව්‍යවස්ථාවටත් පාර්ලිමේන්තුවටත් වඩා මහජන පරමාධිපත්‍යය බලවත්ය. වැදගත් ය. උත්තරීතරය. ඒ බව මේ වනවිට මහජනයා වටහාගෙන සිටිති. එය පාලකයන්ගේ අවාසනාවට හේතුවකි. එහෙත් එය රටේ සහ ජනයාගේ වාසනාවකි.

ඒ වැටහීම මත පදනම්වී මහ මැතිවරණයක් සඳහා පෙළ ගැසෙන ජනයා පාර්ලිමේන්තුවට තෝරා පත්කිරීමට පමණක් නොව අපේක්ෂක ලැයිස්තුවලට නම් කරන්නේ කවුරුන්ද යන්න පවා තීරණය කරන තැනකට සංවිධානය විය යුතුය. පක්ෂ යැයි කියන කල්ලි සැබෑ දේශපාලන පක්‍ෂ බවට පත් කළ හැක්කේ එවිටය. එවිට පාර්ලිමේන්තුවේ කල්ලි බහුතරයට වඩා මහජනයාගේ බහුතරය බලවත් වනු ඇත. ඒ සියල්ල සඳහා විකෘති බල තුලනයක් සහිත පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් පැවත්වීම මේ මොහොතේ මුහුණ දෙමින් සිටින දේශපාලන අර්බුදයෙන් රට ගලවා ගැනීමට ඇති එකම සහ හොඳම ක්‍රියාමාර්ගය ය. අපි ඊට පෙළගැසෙමු, බල කරමු.

Be the first to comment on "“අර්බුදයට විසඳුම බහුතරය ද”"

Leave a comment

Your email address will not be published.


*