ජීවිතයේ වීරයා වූ තාත්තා ‘කොරෝනා නිසා මරු සොයා යාමෙන් තැවෙන’ සෙනාලි ෆොන්සේකා

සෙනාලි කවදා ද එංගලන්තයේ ඉඳලා ලංකාවට ආවේ?

“දැන් ලංකාවට ඇවිල්ලා මාසයක කාලයක් වෙනවා. වැඩිපුරම කාලයක් වෙන් වුණේ නිරෝධායන කටයුතුවලට. පසුගිය සතියේ තමයි නිරෝධායන කාල සීමාව අවසන් කරලා ආයෙම කලා කටයුතු පටන් ගත්තේ.”

ඔබ ලංකාවෙන් යද්දි දායක වුණු කලා කටයුතු ඔක්කොම අතරමග නැවතුණා ද?

“හර්ෂ උඩකන්ද අධ්‍යක්‍ෂවරයාගේ ‘කබඩි’ චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කළේ පසුගිය සතියේ. හදිසියේම මුහුණ දෙන්න සිදුවුණු සිද්ධීන් එක්ක මට එංගලන්තයට යන්න වුණේ හැමදේම නතර කරලා නොසිතූ වෙලාවක. ඒ වෙලාවේ මම රංගන කටයුතු කරමින් හිටපු නිර්මාණවල අධ්‍යක්‍ෂවරු, නිෂ්පාදකවරු මම ඉඳපු තත්ත්වය තේරුම් අරන් මාව හැමදේකින්ම නිදහස් කළා. එයාලා මට කිව්වේ ඒ වැඩ කටයුතු අවසන් කරලා නිදහසේ හුස්මක් අරගෙන ඉස්සර ඉඳපු සොනාලි විදිහටම මේ වැඩවලට දායක වෙන්න කියලා. මොකද ඒ වෙලාවේ මම හිටියේ මානසිකත්වය අතින් බිංදුවටම වැටිලා. ඒ සියලුමදෙනාට හදවතින්ම මම ස්තුති කරනවා. මාත් එක්ක මේ වෙලාවේ ළඟින් හිටියට. අලුත් අධ්‍යක්‍ෂවරයෙක් වන ධනුෂ්ක රේමන්ගේ ‘පරිස්සමෙන් ඉන්න’ සිනමාහල්වල ළඟදීම තිරගත වීමට නියමිතයි.”

ඉදිරියේදී අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණා ද?

“ඔව්. නිරෝධායනය ඉවර වෙන්නේ කවදා ද කියලා ඇඟිලි ගැන ගැන හිටියේ භාරගත්ත නිර්මාණවලට දායක වෙන්න. චිත්‍රපට හා ටෙලිනාට්‍ය කිහිපයක්ම භාරගත්තා. ඒ ලැබුණු අලුත් පිටපතක් මේ දවස්වල කියවමින් ඉන්නවා.”

පසුගිය දිනවල ඉතාම කනගාටුදායක සිදුවීමකට ඔබට මුහුණ දෙන්නට සිදුවුණා?

“ඇත්තටම ඔව්. මගේ ජීවිතේට සෙවණ, ආදරය, රැකවරණය, සෙනෙහස දුන් මහා වෘක්‍ෂය හදිසියේම අම්මාගෙයි මගෙයි ජීවිතෙන් ඈත්වෙලා ගියා. තාත්තා කියන්නේ මගේ ජීවිතේ වීරයා. ඒ වීරයා නැති අඩුව දුවකුට දැනෙන්නේ කොහොම ද කියලා මට වචනයෙන් කියන්න අමාරුයි.

මගේ අම්මයි තාත්තයි ජීවත් වුණේ එංගලන්තයේ. මුලින්ම තාත්තා අසනීප වුණේ අප්‍රේල් 14 වැනිදා. මම එංගලන්තයට යන්න හිටියත් ඇඳිරිනීතිය නිසා මාව ලංකාවේ කොටු වුණා. ඒත් අම්මයි, තාත්තයි නිතරම කතා කළා. තාත්තාට ටිකක් අසනීපයි කියලා කිව්වම අපි හිතුවේ ඒක සාමාන්‍ය රෝගී තත්ත්වයක් කියලා. මගේ තාත්තා වැඩ කළේ ෆාමසි එකක. අසනීප තත්ත්වය ඇති වුණේ කොරෝනා තත්ත්වය උග්‍ර නිසා රටේ ප්‍රතිකාර සිද්ධ වුණේ නිවෙස් තුළමයි. පස්සේ ටික ටික රෝගී තත්ත්වය වැඩි වෙනකොට තාත්තාව රෝහල්ගත කළා. රෝහල්ගත කරලා දින දාහතරක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. වෛද්‍යවරු, හෙද හෙදියන් කරන්න පුළුවන් උපරිමයෙන් මගේ තාත්තාට ප්‍රතිකාර කළා. සෙව්වා බැලුවා. ඒ වෛද්‍යවරු, හෙද හෙදියන් උපරිමයෙන් මගේ තාත්තාව රැක බලා ගත්තා. ඇත්තටම තාත්තා කොරෝනා තත්ත්වයට ගොදුරු වෙලා කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. ඒ රෝගයේ හැටියටත්, රෝගය උත්සන්න වීමත් එක්ක මගේ පියා ජීවිතයෙන් සමුගත්තා. තාත්තා නැති වුණා කියලා දැනගත්තත් මට එංගලන්තයට යන්න හැකියාව ලැබුණේ නැහැ ගුවන්තොටුපොළවල් වහලා තිබුණ නිසා.”

 

එතකොට ​සෙනාලි එංගලන්තයට ගියේ කවදා ද?

“තාත්තා නැතිවෙලා මාසෙකට පස්සේ තමයි මට එංගලන්තයට යන්න හැකියාව ලැබුණේ. මගේ අම්මා එහේ තනියම හිටියේ. තාත්තා නැති වුණා කියලා මම ඒ රටට යනකම් අම්මාට කිව්වේ නෑ එයාට ඒක දරාගන්න අමාරු නිසා. අම්මාට තාත්තාගේ මරණය කියාගන්න බැරුව මම හිතින් ගොඩක් දුක් වින්දා. පස්සේ හිත හදලා ඇයට කියලා අම්මාවත් බලාගෙන අනෙක් සියලු වැඩ කටයුතු අවසන් කරලා පසුගිය මාසේ අම්මා එක්ක ලංකාවට ආවා. තාත්තාගේ වියෝවත් එක්ක අම්මාට ලංකාවට යන්නම ඕන කියලා පෙරැත්ත කළා. ගොඩක්ම ඇගේ සතුට වෙනුවෙන් මම ලංකාවට ආවා.”

රෝහල්ගත වෙලා ඉද්දී තාත්තා සෙනාලි එක්ක කතා කළා ද?

“ඔව්. නිතරම වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ කතා කළා. කොරෝනා තත්ත්වය එක්ක ඇති වුණු නියුමෝනියාව නිසා නිර්වින්දනය කරලා ප්‍රතිකාර කරන්න වෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. ඒත් වෛද්‍යවරු දිනපතා මාත් එක්ක කතා කරලා තාත්තාගේ තොරතුරු එයාගේ තත්ත්වය පැහැදිලි කළා. තාත්තාටත් හුස්ම ගන්න අමාරු වෙද්දී මේක නරක තත්ත්වයක් කියලා වෛද්‍යවරු කිව්වා. තාත්තාව නිර්වින්දනය කරන්න කලින් දවසේ ගොඩක් වෙලා කතා කළා. සාමාන්‍යයෙන් තාත්තලා දුවලට ආදරේ පෙන්නන්නේ නැහැනේ. මමත් තාත්තාත් ලොකුවට ආදරේ පෙන්නපු කෙනෙක් නෙමෙයි. ඒත් නිර්වින්දනය වෙන්න මොහොතකට කලින් තාත්තා නැති වේවි කියලා හිතුවෙ නැති වුණත් මොකක්දෝ අමුත්තක් දැනුණා. ‘මම ඉක්මනට සනීප වෙලා ගෙදර එනකම් අම්මාව හොඳට බලාගන්න’ කියලා තාත්තා අන්තිමට කිව්වා. ඒත් තාත්තිට ගෙදර එන්න බැරි වුණා. තාත්තාගේ අන්තිම හුස්ම යනකම් වීඩියෝ තාක්‍ෂණයෙන් කතා කරන්න එරට වෛද්‍යවරු මට පහසුකම් සලසලා දුන්නා. වීඩියෝ තාක්‍ෂණයෙන් තාත්තට පිරිත් පවා අහන්න ඉඩ සලසලා දුන්නා. තාත්තාගේ අන්තිම හුස්ම යනකොටත් මම තාත්තා එක්ක වීඩියෝ කෝල් එකේ හිටියේ. නිරෝධායන නීති සමයේ අවසන් කටයුතු කරන්න කලිනුත් තාත්තාගේ මූණ අපිට පෙන්නුවා.”

අන්තිමට තාත්තාව මුණගැහුණේ කවදා ද?

“පසුගිය වසරේ දෙසැම්බර් අම්මයි තාත්තයි ලංකාවට ආවා මාව බලලා යන්න. ඒ තමයි තාත්තාව හැබැහින් දැකපු අවසාන වතාව. අවුරුද්දක් විතරම මම කලා කටයුතු නිසා හිටියේ ලංකාවේ ලොකු නැන්දි (මාලනී ෆොන්සේකා) ළඟ. තාත්තා අසනීප වුණු දවසේ ඉඳලා මගේ හිත හැදුවා. මාව ශක්තිමත් කළේ මගේ පවුලේ අය, හිත මිතුරෝ. තාත්තා නැති වුණාට පස්සේ මාවත් ගොඩක් අසනීප වුණා. කෑම බීම පවා එපා වුණා. ක්‍ෂේත්‍රයේ මගේ යාළුවෝ මගේ ළඟින්ම හිටියා. මගේ හිත හදාගන්න ලොකු ශක්තියක් මට ලබාදුන්නා. කරදර වෙලාවේ මගේ දුකේදී හිටපු ඒ සියලුම දෙනාට ගොඩක් පින්.”

සෙනාලි අම්මා එක්ක නැවත එංගලන්තයේ පදිංචියට යනවා ද?

“මම පුංචි කාලේ ඉඳලාම හැදුණේ, ඉගෙන ගත්තේ, ජීවත් වුණේ එංගලන්තේ. මගේ නෑදෑ හිත මිතුරෝ සියලුම දෙනා ඉන්නේ ලංකාවේ. අම්මයි මායි තනිවුණු වෙලාවේ රැකවරණය තියෙන්නේ ලංකාවේ කියලා මම හිතනවා. ලංකාවට එන එක තමයි විසඳුම කියලා අම්මාවත් එක්කන් ලංකාවට ආවත් ඉඳහිට එංගලන්තයේ ගිහින් එනවා. ඉස්සරහට වැඩි කාලයක් ජීවත් වෙන්නේ ලංකාවේ.”

සැහැල්ලුවෙන් ගෙවපු ජීවිතේට ලොකු වගකීමක් තියෙනවා දැන්?

“ඔව්. ඉස්සර තාත්තා අපි දෙන්නවම බලාගත්තා. දැන් අම්මාව බලාගන්න එක මට ලොකු වගකීමක්. තාත්තා එංගලන්තයට ගියේ මගේ අනාගතය ගැන හිතලා. රංගන කටයුතු කළාට මම ජීවත් වුණේ හරිම සැහැල්ලුවෙන්. ජීවිතේ බරක් පතලක් දැනුණේ නැහැ. පවුලේ එකම දරුවා විදිහට හැදිච්ච මට මගේ වීරයා තාත්තා නැතිවීමත් එක්ක ජීවිතේ බිංදුවට කඩා වැටිලා හැමදේම කණපිට පෙරැලුණා. හිත ශක්තිමත් කරගෙන ජීවිතේ ආයෙම නැගිටින්න මේ දවස්වල උත්සාහ කරනවා. පසුගිය කාලේ හැමදේකින්ම මම ඈත්වෙලා තනිවෙලා හිටියා. ජීවිතේ වැටෙන්න බෑ. මම කොතැනකදීවත් වැටෙනවට මගේ තාත්තා කැමැති වුණේ නැහැ. තාත්තා නිතරම කියපු දේ තමයි ‘ගෙදරට ඉන්න කොල්ලත්’ මම කියන එක.”

සෙනාලි කලාවේ රැඳේවි ද?

“මම අධ්‍යාපනය ලැබුවේ විද්‍යාඥවරියක් වෙන්න. කලාව කරන ගමන් මගේ ඉගෙනගත්ත ක්‍ෂේත්‍රයෙන් වැඩක් ගන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මගේ තාත්තාගේ ලොකුම සතුට ඒක. තාත්තා කියන්නේ මගේ මුළු ලෝකෙම. අපි රටවල් දෙකක හිටියත් මගේ හිතේ තිබුණා මගේ වීරයා ජීවත් වෙලා ඉන්නවා කියන එක. ඔහුගේ වෙන්වීම දරාගන්න අමාරුයි. ඒත් බුදුදහම එක්ක මම ජීවිතේ යථාර්ථය තේරුම් ගත් කෙනෙක්. ඉස්සර තාත්තා හිටියේ එංගලන්තයේ. දැන් තාත්තා මම යන හැම තැනකම මගේ ළඟින් ඉන්නවා කියලා මට හිතෙනවා.”

Be the first to comment on "ජීවිතයේ වීරයා වූ තාත්තා ‘කොරෝනා නිසා මරු සොයා යාමෙන් තැවෙන’ සෙනාලි ෆොන්සේකා"

Leave a comment

Your email address will not be published.


*