ආදරණිය තාත්තා අසනීපයි..ළඟ ඉන්න ඕනෑ – මාලිංග IPL මුල් කොටස අතහරි

මුම්බායි ඉන්දියන්ස් පිලට පසුගිය වසරේදී අයි.පී.එල්. ශූරතාව දිනා දුන් ලසිත් මාලිංගට මේ වසරේ අයි.පී.එල්. තරගාවලියේ මුල් කොටස මග හැරී යනු ඇත. සැප්තැම්බර් 19 වැනිදා සිට නොවැම්බර් 10 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරගාවලිය සඳහා මාලිංග නොයන බව දැනගන්නට තිබේ.

මුම්බායි ඉන්දියන්ස් පිලේ පුහුණුකරුවා වන මහේල ජයවර්ධන මේ වන විටත් කණ්ඩායමට එක්වීම සඳහා අබුඩාබි බලා ගොස් සිටී.

මාලිංගට ඉතාම සමීප ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ ඔහුගේ පියා අසනීපව සිටින බැවින් පියා අසළ සිටීමට අවශ්‍ය නිසා මෙවර අයි.පී.එල්. තරගාවලියේ පළමු කොටසින් ඉවත්ව සිටින බවයි. මාලිංගගේ පියාට නුදුරු දිනයකදී ශල්‍යකර්මයක් කිරීමට සිදුවිය හැකි බවද දැනගන්නට තිබේ. එවන් තත්ත්වයක් තිබියදී තම පියා තනිකර යාමට මාලිංග සූදානම් නොවේ.

මාලිංග අයි.පී.එල්. නොයාමට එක් ප්‍රධාන සාධකයක් වන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වන පුද්ගලයින් සඳහා රජය විසින් පනවා ඇති නිරෝධායන නියෝග සමුදායයි.
විදෙස්ගත වීමෙන් පසුව ශ්‍රී ලංකාවට ඇතුළු වන ඕනෑම අයකු දින 14 ක අනිවාර්ය නිරෝධායනයකට භාජනය විය යුතුය.

කෙසේ වෙතත් මාලිංග කොළඹදී තනිවම පුහුණුවීම් වල නිරත වෙයි.

පසුගිය වසරේ අයි.පී. එල් තරගාවලියේ අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව යැවූ අවසන් ඕවරයේදී මාලිංග ලකුණු 8 ක් ආරක්ෂා කරගනිමින් මුම්බායි ඉන්දියන්ස් පිලට කුසලානය දිනා දුන්නේය. අවසන් ඕවරය යැවීමේදී මාලිංගගේ පළමු පන්දු 5 න් ලකුණු 7 ක් පමණක් ලබා ගත් අතර තරගය ජයගැනීමට චෙන්නායි පිලට අවශ්‍ය වූයේ ලකුණු 2 ක් පමණි. එහෙත් අවසන් පන්දුවේදී ෂාර්දුල් තාකූර්ගේ කඩුල්ල දවාගත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් වාර්තාගත සිව්වන ශූරතාව දිනා දුන්නේය.

මේ මස 28 වැනිදා 37 වැනි වියට පා තබන මාලිංග, මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ටතම ක්‍රීඩකයන්ගෙන් අයෙකි. ඔහු විස්සයි-20 තරග වලදී ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් (390 ක්) දවාගත් පන්දු යවන්නන් අතර ඩ්වේන් බ්‍රාවෝට (499) පමණක් දෙවැනි වී සිටී. මාලිංග දවාගත් අයි.පී.එල්. කඩුලු සංඛ්‍යාව 170 කි.

වසර 11 කට ඉහතදී මුම්බායි ඉන්දියන්ස් පිල හා සම්බන්ධ වූ මාලිංග අතර එතැන් සිට අයි.පී.එල්. 2018 දී ඔහු පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙසද සේවය කළේය. එහෙත් පසුගිය වසරේදී මුම්බායි ක්‍රීඩකයෙකු ලෙස ඔහුව නැවත ගෙන්වා ගැනීම සඳහා රුපියල් කෝටි 2 ක් ගෙවා ඇති අතර එය තීරණාත්මක ආයෝජනයක් බව ඔප්පු වූයේ අවසන් මහ තරගයේ අවසන් පන්දුවෙනි.

මාලිංග අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි 20 තරගයකදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මේ වසරේ මාර්තු මාසයේදී ක්‍රීඩා කළේය. එහෙත් ඔහු ජුනි සහ ජූලි මාසවලදී පැවැති නේවාසික පුහුණු කඳවුරුවලට සහභාගී නොවීය.

වේග පන්දු යැවීමට නම් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩකයෝ රැසක්ම සිටිති.
ජස්ප්‍රිට් බුම්රා, නේතන් කූල්ටර්නයිල්, ට්‍රෙන්ට් බෝල්ට්, මිචෙල් මැක්ලේනගන්, ධවාල් කුල්කර්නි, සහ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන හාර්ඩික් පාණ්ඩ්‍යා මෙන්ම කීරන් පොලාර්ඩ්ද මුම්බායි ඉන්දියන්ස් පිලට සිටිති. එබැවින් තරගාවලියේ මුල් අදියරේදී මාලිංග අපේක්ෂා කරන නිදහස ඔහුට හිමිවනු ඇත

Be the first to comment on "ආදරණිය තාත්තා අසනීපයි..ළඟ ඉන්න ඕනෑ – මාලිංග IPL මුල් කොටස අතහරි"

Leave a comment

Your email address will not be published.


*