ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඟරුවනේ පැසසුමට ලක්වේ

කොවිඩ් – 19 වෛරසය හමුවේ සිදුකරනු ලැබු මහඟු කාර්යභාරය වෙනුවෙන් දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ බැතිමතුන් විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැසසුමට ලක් කර තිබෙනවා.

මෙහිදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ආශිර්වාද එක් කරමින් මහා සංඝරත්නය විසින් ‘ජය පිරිත’ සජ්ඣායනා කරනු ලැබුවා.

ඉන් අනතුරුව, දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඌරුබොක්කේ උපනන්ද හිමියන් විසින් කෙටි අනුශාසනාවක් සිදුකරමින් විහාරස්ථානයේ දායකයින්ගේ සහභාගිත්වයෙන් විහාරස්ථාන පරිශ්‍රය තුළ මෙම පූණ්‍යෝත්සවය පැවැත්වීමට හේතු පාදක වූ කාරණා පිළිබඳව පැහැදිලි කිරිමක් සිදු කළා.

අතිගරු ජනාධිපති සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වය යටතේ කොවිඩ් – 19 වෛරසය හමුවේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් කරනු ලැබූ අපරිමිත කාර්යභාරය සහ යුද පිටියේදී සිදුකළ පරාර්ථකාමී භූමිකාවන් වෙනුවෙන් එහිමියන් සිය ආශිර්වාදයන් ලබාදුන් අතර, එම කර්තව්‍යයන් වෙනුවෙන් කැපවී සිටින සියළු පාර්ශවයන්ට ආශිර්වාද එක් කරන ලෙස ද උන්වහන්සේ විසින් දායක සභාවෙන් ඉල්ලා සිටිනු ලැබුවා.

ඉන් අනතුරුව, මහා සංඝරත්නය විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත රන් ආලේපිත දාගැබක අනුරුවක් ද තිළිණ කළා.

මෙම අවස්ථාවේ සිදු වූ තවත් එක් සුවිශේෂි අංගයක් ලෙස මෙම උත්සවය සඳහා සහභාගී වූ දිළිඳු පුද්ගලයින් වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් වියළි සළාක පාර්සල් 100 ක් බෙදාදුන් අතර, එම බැතිමතුන් හා දරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවීමට ද යුද්ධ හමුදාධිපතිතුමන් කටයුතු කළා.

Be the first to comment on "ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඟරුවනේ පැසසුමට ලක්වේ"

Leave a comment

Your email address will not be published.


*