ගෝඨාට ජනපති වීමට ව්‍යවස්ථාමය අයිතියක් නැහැ.

ජනපතිවරණයට තව ඇත්තේ සතියකට පමණ අඩු කාලයකි. එහෙත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනෙකු වන ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙකි. එය තවම විසඳී නොමැත. එම ගැටලුව විසඳීමට මැතිවරණ කොමිෂන් සභාව හෝ අධිකරණය තවමත් සුදානමක් නැත. එලෙසම තමා ඇමරිකානු පුරවැසියෙක් නොවන බව නිවැරදි සාක්‍ෂි සමග ඔප්පු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු වුවමනාවක් නැත. මේ සියල්ල අපට නොකියා පවසන්නේ මොවුන්ගේ බල තන්හාවට උත්තරීතර ජනතා පරමාධිපත්‍යගැන අබමල් රේණුවක හෝ හැඟීමක් නොමැති බවයි.

මීට මසකට පමණ පෙරදී මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන අය ගෝඨාභය රාජපක්ෂ ගේ ද්විත්ව පුරවැසිභාවය පිලිබඳ ප්‍රශ්න නගමින් අධිකරණයට ගියේය. එහිදී අධිකරණය විසින් එම පෙත්සම සලකා බලමින් එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවයක් ලබා දීමට අයිතියක් තිබුණාය යන තර්කය මත එය නිෂ්ප්‍රභා කෙරිණ. එහෙත් ඒ ප්‍රශ්නයට නිශ්චිතම සහ නිවැරදිම පිළිතුර එය නොවේ.

මන්ද තමා විසින් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තා යනුවෙන් ව්‍යාජ ලේඛන පෙන්වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇමරිකාව විසින් මේ වසරේ නිකුත් කරන ලද තුන්වන ෆෙඩරල් රෙජිස්ටරයේ සඳහන් නම් 183 අතර ද නැත. එසේ හෙයින් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙකි. ඔහු මේ දිගින් දිගටම සත්‍ය සඟවා කරන සෙල්ලමේ බරපතල කම කෙසේ ද යත් වැරදීමකින් හෝ ඔහු මෙම ජනපතිවරණය ජය ගනිමින් ජනාධිපති වුවහොත්, ඔහුට විරුද්ධව මැතිවරණ පෙත්සමකින් ඔහුට අභියෝග කර ඔහුව බලයෙන් පහ කිරීමේ හැකියාවක් පවතින බැවිනි. එබැවින් ඔහු මේ සිදු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපෑමකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (1) d (xiii) අනුව ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හෝ ජනාධිපතිවරයෙක් වීමට නොහැක යන වගන්තිය කඩ කිරීම නිසා ඔහු වෙත චන්දය ලබා දුන් පුරවැසියන්ගේ චන්දයන් අපතේ යනු ඇත. ඇත්තටම එය මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ ට එක වන ඊළඟ කළු පල්ලමයි. එබැවින් එවන් තත්ත්වයක් උදා වීමට ඉඩ නොදිය යුතුයි.

මේ ප්‍රශ්නය සැබෑවක්. නෛතික පරිසරයක් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට හැකියාවක් නැතැයි යන්න ඒකාන්තයෙන්ම දන්නා රාජපක්ෂ සමාගම තමන් මේ කරනා මේ කුමන්ත්‍රණය වසා ගැනීමට ගසන තුරුම්පුව ලෙස ජනාධිපතිධූර අපේක්ෂකයෙකුගේ ආරක්ෂාව ගැන සලකා බලා ෆෙඩරල් රෙජිස්ටරයට නම ඇතුලත් කර නැතැයි තර්කය ගෙනඒමට සුදානම් වන බව ආරංචි වෙයි. එය බොරුවකි. එවන් ප්‍රතිපත්තියක් ඇමරිකානු ෆෙඩරල් රෙජිස්ටරයට නම් ඇතුලත් කිරීමේදී සැලකිල්ලට නොගනී. එබැවින් මොවුන් මේ කරන බොරුවෙන් සිදු වන්නේ මේ රටට අයහපත් කරුණු දෙකකි. එයින් පලමුවැන්න නම් බල ලෝභය සඳහා ජනතා පරමාධිපත්‍ය බලය සමග සෙල්ලම් කිරීමයි. දෙවැන්න නම් ඇමරිකාවට මේ රටට අත පෙවීමට ඇති ලේසිම ක්‍රමය වන තම පුරවැසියෙක් ජනාධිපති කරවීමේ ඇමරිකානු සැලැස්මේ උපායට අපේ රටේ ජනතාවට ද සම්මාදන් වීමට සිදු වීමයි.

Be the first to comment on "ගෝඨාට ජනපති වීමට ව්‍යවස්ථාමය අයිතියක් නැහැ."

Leave a comment

Your email address will not be published.


*