මරාගෙන මැරෙන තුනක් බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකර ගනී

අම්පාර සමන්තුරෙයි සහ සයින්දමර්දු ප්‍රදේශවල පිහිටි තව්හිද් ජමාත් ත්‍රස්‌ත සංවිධානයට අයත් ප්‍රධාන පෙළේ අවි ගබඩා දෙකක්‌ වැටලීමට ගිය අවස්‌ථාවේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එම ත්‍රස්‌ත කල්ලියේ සාමාජිකයින් අතර ඊයේ (26 ) රාත්‍රි දරුණු ගැටුමක්‌ ඇතිවිය.

තව්හිද් ජමාත් ත්‍රස්‌ත කල්ලියේ සාමාජිකයින් තිදෙනකු බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකරගත් අතර තවත් ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ආරක්‍ෂක අංශ වෙත පැයකට ආසන්න කාලයක්‌ වෙඩි ප්‍රහාර එල්ල කරමින් සටන් කළහ.

සයින්දමර්දු ප්‍රදේශය හමුදාව විසින් වට කරගෙන එම ත්‍රස්‌ත කල්ලියට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ඊයේ රාත්‍රි වනතුරුම එම සටන සිදුවිය.

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ලබාදුන් තොරතුරකට අනුව යුද හමුදාව . ඊයේ සවස අම්පාර සමන්තුරේ සෙන්දිල්ගාමම් ප්‍රදේශයේ නිවසක්‌ වැටලූහ.

එම නිවසේ කොටසක තව්හිද් ජමාත් ත්‍රස්‌ත කල්ලියේ ප්‍රධාන පෙළේ අවි ගබඩාවක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ. එම අවි ගබඩාවේ තිබී දැවැන්ත ප්‍රහාර ගණනාවක්‌ සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, ජෙලග්නයිට්‌, නයිට්‍රජන් ගැලුම් විශාල ප්‍රමාණයක්‌, ලක්‌ෂයකට ආසන්න යකඩ බෝල තොගයක්‌, ෙඩෙටනේටර්, මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටල ඇතුළු අවි ආයුධ විශාල ප්‍රමාණයක්‌ සොයාගැනීමට හැකිවිය.

එම අවි ගබඩාව පවත්වාගෙන ගිය ස්‌ථානයේ තිබී තව්හිද් ජමාත් කල්ලියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිවසේ කොටසක්‌ කුලී පදනම මත ලබාගෙන සිටි ත්‍රස්‌ත කල්ලියේ සාමාජික පිරිසක්‌ අවි ගබඩාව පවත්වාගෙන ගොස්‌ ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙම නිවසේ කොටස කුලියට ලබාගෙන සිටි පිරිස අතුරුදන් වී ඇති බවට විමර්ශන වලින් හෙළිවිය.

Be the first to comment on "මරාගෙන මැරෙන තුනක් බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකර ගනී"

Leave a comment

Your email address will not be published.


*