යෝජිත ව්‍යවස්ථාව විමසුම් ඇසකින් ( ගෝඨාභය රාජපක්ෂ )

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කලක සිට සංවාදයට ලක්ව තිබෙන්නකි. ව්‍යවස්ථාව සම්බන්ධව දැනුමක් ඇති නීතිඥවරු අදහස් දක්වා ඇත්තාහ. විවිධ සම්මන්ත්‍රණ ද පැවැත්වුණි. මේවායේදී කතා කෙරුණේ යෝජිත නව ව්‍යවස්ථාවේ ඉහළ මට්ටම සම්බන්ධවය. ඒකීය රාජ්‍ය නැතිවීම, ෆෙඩරල් ක්‍රමයක් ඇතිවීම යනාදිය පිළිබඳ කතා කළ ද මේවායෙන් සිදුවන්නේ කුමක්ද යන්න ගැන සරල පැහැදිලි කිරීමක් නැත. ඒ නිසාම සාමාන්‍ය ජනතාවට ද ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇතැයි සිතිය නොහැක.

දියුණු වන සහ ලෝක බලවතුන්ගේ අවධානයට යොමු වූ ස්ථානයක පිහිටි රටක් වන ලංකාවට නව ව්‍යවස්ථාවෙන් යෝජනා කරන පාලන ව්‍යුහය ගැළපෙන්නක් නොවේ. රටේ ස්ථාවරත්වයට දැඩි බලපෑමක් කරන්නකි. 19 වැනි සංශෝධනය පවා හරි අවබෝධයකින් නොකිරීමෙන් කොතරම් ආරවුලක් ඇතිවී තිබේද? මේ දිනවල අපි එය අත්දකින්නෙමු. එක් සංශෝධනයකින් මෙතරම් අවුලක් නිර්මාණය වුණා නම් යෝජිත ව්‍යවස්ථාවෙන් සම්පූර්ණ පාලන ව්‍යුහය වෙනස් කර ඇති ආකාරයට ඉදිරියේදී රට වියවුලකට ලක්වන්නට පුළුවන.

යෝජනා කරන ආකාරයට විධායකය ජනාධිපතිවරයා වුවත් ඔහු ජනතා ඡන්දයෙන් පත්වන්නකු නොවේ. ජනාධිපතිවරයා පත්කරන්නේ පාර්ලිමේන්තුවෙනි. දෙවැනි සභාවක් ද පත්කෙරෙන අතර ජනාධිපතිවරයා පත්කිරීමේදී එහි නියෝජිතයන්ගේ ඡන්දය ද අවශ්‍යය. ඒ අනුව පත්වන තැනැත්තා ඇත්ත විධායක ජනාධිපතිවරයකු නොවේ. නාමික ජනාධිපතිවරයෙකි. නැතිනම් නාමිකව රටේ නායකයාය. ඔහුට කිසිදු බලයක් නැත.

යෝජිත ව්‍යවස්ථාව යෝජනා කර ඇති ආකාරය අනුව ව්‍යවස්ථාදායකය කොටස් දෙකකින් යුක්තය. පාර්ලිමේන්තුව සහ දෙවැනි සභාව එම කොටස් දෙකය. මෙය අප සාමාන්‍යයෙන් දන්නා සෙනෙට් සභාව හා සමානය. මෙම බෙදීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ බලයත් අඩු වී තිබේ. බලරහිත ජනාධිපතිවරයකු සහ බලරහිත ව්‍යවස්ථාදායකයක් යෝජිත ව්‍යවස්ථාවෙන් බිහිවන බව මෙයින් පැහැදිලිය.

ඉන්පසුව දැනටත් වඩා බලසම්පන්න පළාත් සභා යෝජනා කර තිබේ. පොලිස් බලය ඇතුලු අනෙක් බලතල ද පළාත් සභාවලට ලබාදීමට යෝජිත ව්‍යවස්ථාවේ යෝජනා අතර ප්‍රමුඛය. බලරහිත ජනාධිපතිවරයකු, බලරහිත පාර්ලිමේන්තුවක්, දෙවැනි සභාවක් සහ බලගතු පළාත් සභා නවයක් පිහිටුවීමේ අරමුණ කුමක්ද? යෝජනා කරන ආකාරයට දෙවැනි සභාව නියෝජිතයන් 55 දෙනකුගෙන් සමන්විතය. මෙයින් 45 දෙනකු තෝරන්නේ පළාත් සභාවලිනි. ඒ අනුව එක් පළාත් සභාවකින් දෙවැනි සභාවට තෝරා ගන්නා සංඛ්‍යාව පහකි. පාර්ලිමේන්තුවෙන් දෙවැනි සභාවට තෝරන්නේ දස දෙනෙකි. රට පාලනය කරන්නට යන්නේ මෙවන් ව්‍යුහයකිනි. මේ තත්ත්වය යටතේ බලගතු කේන්ද්‍රයක් නැත. මධ්‍යස්ථ තීරණ ගත හැකි පුද්ගලයකු නැත. පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කළත් එය දෙවැනි සභාවට යැවිය යුතු අතර එතැනින්ද සම්මත විය යුතුය. රට ගෙනයාමට සැරසෙන්නේ මෙවන් ව්‍යුහකටය. මෙය අස්ථාවර පාලන ව්‍යුහයකි.

පළාත් සභා දෙකකට හෝ තුනකට ඒ පළාත්වල සිටින ජනතාවගේ කැමැත්තෙන් ඒකාබද්ධ වීමට අවශ්‍ය ප්‍රතිපාදන යෝජිත ව්‍යවස්ථාවේ ඇතුළත්ය. උතුරු-නැගෙනහිර පළාත් දෙකේ ජනතා කැමැත්තෙන් පළාත් දෙකට එකතු වන්නට මේ අනුව පුළුවන. මේ පළාත් දෙක විශාල ප්‍රදේශයකි. එක් වූ පසු එක් මහඇමැතිවරයකු යටතේ පාලනය වන එක් පළාත් සභාවකි. එම මහ ඇමැති සහ රටේ අගමැතිවරයා සම්බන්ධව සිතුවහොත් දක්නට ලැබෙන තත්ත්වය කුමක්ද? විශාල ප්‍රදේශයක් පාලනය කරන මහ ඇමැති සියලු බලතලවලින් සන්නද්ධය. ඉඩම්, පොලිස්, මූල්‍ය බලතල පවා එයට අයත් වනු ඇත.

එහෙත් අගමැතිවරයාගේ බලය පාලනය කර තිබේ. මෙම ව්‍යුහය පිළිබඳ සිතා බැලිය යුතුය. කොතරම් අස්ථාවරත්වයක් නිර්මාණය කරනවාද? මෙම අස්ථාවරත්වය යටතේ රට කොතරම් අවුලකට පත්විය හැකිද? මේවා සැමගේ අවධානයට යොමුවිය යුතු කරුණුය.

බෙදුම්වාදීන් සමඟ තිස් වසරක් අපි යුද්ධ කළෙමු. එම මතවලින් ඔවුන් තවමත් බැහැර වී නැත. එවන් කාලයක ප්‍රශ්නවලට මුහුණදීමද තවත් ප්‍රශ්නයකි. ලෝකය පුරාම මේ වනවිට අන්තවාදී ව්‍යාපාර තිබේ. එවන් අන්තවාදී ව්‍යාපාරයකට අප මුහුණ දෙන්නේ කෙසේද? බලගතු මධ්‍ය පාලන ක්‍රමයක් නැති තැනක මේ ප්‍රශ්නය වඩාත් උග්‍රය. එතරම් දුරට නොගියද දුර්වල අගමැතිවරයකු සහ පාර්ලිමේන්තුවක් හරහා එදිනෙදා ප්‍රශ්න කළමනාකරණය කරගනිමින් රට පාලනය කිරීම ද ප්‍රශ්නයක් වනු ඇත. සංවර්ධන ක්‍රියාවලියේදී පවා ගතයුතු තීරණ ගන්නේ කෙසේද? රටේ නීතිය හා සාමය පිළිබඳ තීරණ ගන්නේ කෙසේද? මේවා බරපතළ කරුණුය.

නව ව්‍යවස්ථාවෙන් යෝජනා කරන ආකාරය අනුව රටේ වටිනා සම්පත් බලගතු පළාත් සභාවලට නතුවනු ඇත. එම සම්පත් ප්‍රයෝජනයට ගන්නා ආකාරය පාලනයට ක්‍රමයක් නැත. එවන් තීරණ ගත හැකි මධ්‍ය පාලනයක් නව ව්‍යවස්ථාවෙන් අහිමිකර තිබීම එයට හේතුවය. මෙවන් ව්‍යාකූල තත්ත්වයකට රට පත්වීම වැළැක්වීම අපහසුය.

ඒ වගේම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති වුවොත් එය විසඳා ගැනීමට වන්නේ “ව්‍යවස්ථා අධිකරණය” කිනි. එය දැන් පවතින ශ්‍රේෂ්ඨාධිකරණය නොවේ. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවක් ද තිබේ. මේවා නාමිකව ස්වාධීනය. පාලන තන්ත්‍රය පාලනය කිරීමට, බලය කැඩීමට මෙවන් ආයතන රාශියක් නව ව්‍යවස්ථාවෙන් යෝජනා කර තිබේ. පසුගිය කාලයේ මේ රටේ තිබූ ප්‍රශ්න විසඳුවේ විධායක ජනාධිපතිවරයකු සිටින නිසාය. තීරණ ගැනීමට හැකිවූ නිසාය. රට ඉදිරියට ගෙනයාමට හැකි වූවෙත් එහි ප්‍රතිඵලයක් වශයෙනි.

යහපාලන ආණ්ඩුව සූදානම් වූයේ ඉහත කී ආකාරයේ ව්‍යවස්ථාවක් සම්මත කිරීමටය. තව නොබෝ දිනකින් එය ඉදිරිපත් කිරීමට තිබුණි. තවමත් එම අනතුර සම්පූර්ණයෙන් පහව ගොස් නැත. එවන් අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ විධායක ජනාධිපතිට තිබූ බලතල අනුවය. එහෙත් දෙබිඩි, ප්‍රශ්නකාරී 19 වැනි සංශෝධනය හේතුවෙන් රට ව්‍යාකූල තත්ත්වයකට පත්වුණි. මෙවන් තැනකදී තීරණ ගන්නේ කවුද? එය බරපතළ ප්‍රශ්නයකි. නව ව්‍යවස්ථා කථිකාවතේදී ඒකීයභාවය නැතිවීම, ෆෙඩරල් ක්‍රමයක් ඇති කිරීම යනාදී වශයෙන් ඉහළ මට්ටමෙන් සංවාද කෙරෙන්නේ මෙකී තත්ත්වයයි.

යෝජිත නව ව්‍යවස්ථාව සම්මත කළහොත් ඒ අනුව මුල්ම ජනපති පත් කෙරෙන්නේ වත්මන් පාර්ලිමේන්තුවෙනි. එහෙත් වත්මන් පාර්ලිමේන්තුවට එවන් බලයක් ලබාදී නැත. එසේ වුවත් බල වුවමනාව වෙනුවෙන් මේ ව්‍යවස්ථාව සම්මත වුවොත් දැන් බලයේ සිටින පක්‍ෂය වසර පහකට ජනාධිපතිවරයකු පත් කරනු ඇත. එය සාධාරණද? ඒ වගේම නව ව්‍යවස්ථාව යටතේ මුල්ම මහ මැතිවරණය පැවැත්වීමට ප්‍රථම සීමානීර්ණ කොමිසමක් පත් කළ යුතුය. ඒ වැඩි ආසන සංඛ්‍යාවක් යෝජනා වී ඇති නිසාය. මේ පසුබිම යටතේ තවත් වසර ගණනාවක් යන තෙක් අලුත් පාර්ලිමේන්තුවක් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාවක් ලැබෙන්නේ නැත. මේ ආකාරයට කපටිකමෙන් ජනතාවගේ අයිතීන් උදුරා ගැනීමට නව ව්‍යවස්ථාව සැලසුම් කර තිබේ. මෑතක ඇතිවූ සිද්ධිදාමය මෙකී උත්සාහය වැළැක්වීමටය. ඒ කාරණය නිවැරැදිව මේ රටේ සියලු දෙනා අවබෝධ කරගත යුතුමය.

ලෝක බලවතුන් දැනටමත් ලංකාවේ පාලනයට ඇඟිලි ගසමින් සිටින්නේ එහි උපක්‍රමික පිහිටීම නිසාය. එවන් පසුබිමක නව ව්‍යවස්ථාව යෝජනා කරන ආකාරයේ අස්ථාවර පාලන ව්‍යුහයක්, රාජ්‍ය ව්‍යුහයක් තිබීම භයානකය. දෙමළ දේශපාලනඥයන් ඉල්ලා සිටියේ මෙවන් බලය බෙදීමකි. එහෙත් නව ව්‍යවස්ථාවෙන් බලය බෙදීමෙන් ඔබ්බට ගොස් තිබේ. බලය බෙදන අතර රටේ සම්පූර්ණ පාලන ක්‍රමය බලහීන කර තිබේ. ජනතාව විසින් පත්කරන විධායක ජනාධිපතිවරයකු යටතේ මේ ආකාරයේ බලය බෙදීමක් වෙනම කරුණකි. විධායක ජනපතිධුරයත් නාමික කර, පාර්ලිමේන්තු බලයත් හීන කර ඇති පසුබිමක මේ බලය බෙදීම භයානකය. එවන් පාලනයක් ගෙන ඒමට උත්සාහ කරන්නේ කාගේ වුවමනාවටද? කවුරු කුමක් කීවත් සියලු දෙනා බියකින් තොරව සිටින්නේ විධායක ජනපති නිසාය. එය අවබෝධ කරගත යුතුය.

ඒකීයභාවය නැතිවීම, රට ෆෙඩරල් වීම යනාදී වශයෙන් හුදු අර්ථ දැක්වීමකට වඩා එම තත්ත්වයට රට මෙහෙයවන ආකාරය ගැන, එකී ව්‍යුහය ජනතාවට සරලව පැහැදිලි කර දිය යුතුය. නව ව්‍යවස්ථාවෙන් යෝජනා කරන සෑම ආයතනයක්ම ස්ථාපිත කෙරෙන්නේ කිසිවකුටත් බලය නොලැබෙන ආකාරයටය. බලය සම්පූර්ණයෙන්ම පළාත්වලට ලබාදීමට සැලසුම්කර තිබේ. පළාත් තුනක් එකතු වුවහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? මේවාට නව ව්‍යවස්ථාවෙන් පිළිතුරු සපයනවාද? බලරහිත ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු සිටින පසුබිමක මෙය බරපතළ අභියෝගයකි. භයානකය. යෝජිත නව ව්‍යවස්ථාවට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුත්තේ මේ නිසාය.

ඒකීය යන වචනය වෙනස් නොකළද මේ ව්‍යවස්ථාවේ ඇති ඒකීයභාවය කුමක්දැයි ප්‍රශ්න කළ යුතුය. වචනවලින් වැඩක් නැතැයි බෙදුම්වාදීන් කීවේ ඒ නිසාය. මේ වචන යොදා ඇත්තේ සාමාන්‍ය ජනතාව මුළා කිරීමටය. බලය ඇති මධ්‍ය පාලනයක් නැති නම් මේ ව්‍යුහය තුළ කුමන වචන යෙදුවත් වැඩක් නැත. මේ ව්‍යවස්ථාව සම්මත වුවොත් එය වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නැත. එය ජනතාව සිතට ගත යුතුම කරුණකි. රටේ ස්වෛරීභාවය සම්පූර්ණයෙන්ම අහිමි කිරීමට නව ව්‍යවස්ථාව යොමුව තිබේ.

මෙහි ගැබ්ව ඇත්තේ බටහිර වුවමනාවය. දෙමළ ඩයස් පෝරාවේ වුවමනාවය. එම වුවමනාව ඉටුකර ගැනීමට සැලසුම් කර තිබුණේ පසුගිය පාලනය සමඟය. පසුගියදා පාලනයේ වෙනසක් වූයේ මේ සැලසුම් පරාජය කිරීමටය. යහපාලන ජනපති පත්වූ විගස මහ මැතිවරණයකට යාමටත් පෙර කඩිමුඩියේ 19 වැනි සංශෝධනය ගෙනැවිත් වසර හතර හමාරක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට සහතික කර ගත්තේ ඇයි? ඉදිරියට බලපාන ආකාරයට නව ව්‍යවස්ථාවේම මේ කරුණු අඩංගු කිරීමේ හැකියාව තිබුණි. එසේ නොකළේ ජනපති විරුද්ධ වන ව්‍යවස්ථාවක් ගෙනෙන බව ආණ්ඩුව කල්තියා දැන සිටි නිසාය. මෙය ජනතාව කල්පනා කළ යුතුය. මේවා මේ රටේ සැලසුම් නොවන බවද වටහාගත යුතුය.

Be the first to comment on "යෝජිත ව්‍යවස්ථාව විමසුම් ඇසකින් ( ගෝඨාභය රාජපක්ෂ )"

Leave a comment

Your email address will not be published.


*